විභාගය (Exam) ජය ගැනීම සඳහා සුදානම් විය යුත්තේ කෙසේද

 විභාගය  (Exam) ජය ගැනීම සඳහා සුදානම් විය යුත්තේ කෙසේද



නිවැරදිව විභාගයට සුදානම්විය යුත්තේ විභාගයට සතියකට දෙකකට පෙර සිට නොව එම විභාගයට  (Exam) අදාළ විෂය කරුණු ඉගෙනීමට පටන් ගන්නා මුල් අවස්ථාවේ සිටය. මන්ද විභාගයකට පෙනී සිටීම යනු පියවර කීපයක එකතුවක් නිසාවෙනි. සීමිත කාලයක් තුළ දී විෂය කරුණු විමසන ප්‍රශ්ණ පත්‍රයට පිළිතුරු සැපයීම එම ක්‍රියාවලියේ අවසාන පියවර වන්නේය. එහෙත් ආත්ම ශක්තිය සමඟ නිදහස් මනසිකින් යුතුව විද්‍යානුකූල හා මනෝවිද්‍යාත්මක නිවරදි ක්‍රම භාවිතා කරන්නේ නම් කෙටි කාලයක් තුළ දී වුව ද විභාගය ජය ගැනීමේ හැකියාව ඔබ සතුව ඇත. ඉගෙනීමේ සිට ප්‍රශ්ණ පත්‍රයකට පිළිතුරු ලිවීම දක්වා වන කාර්යය සරලව පියවර හතරක් ඔස්සේ මෙසේ දැක්විය හැකිය.
1 විෂය කරුණු එකතු කිරීම
2 මතක තබා ගැනීම
3 ආවර්ජනය කිරීම
4 පිළිතුරු ලිවීම
මෙම පියවර හතර අවස්ථා හතරක් වශවෙන් නිරූපනය කළ ද එකිනෙකට එකක් සම්බන්ධ වන අතර විභාගයෙන් සාර්ථක ජයක් ලැබීමට නම් මෙම පියවර හතරම නිවැරදිව සම්පූර්ණ විය යුතුය. මෙම පියවරයන් ගේ ස්වභාවය දරුවාගෙන් දරුවාට වෙනස්වේ. එසේම එම පියවරයන් ක්‍රියාත්මක කිරීමේ දී එක් එක් දරුවාට සුවිශේෂී වූ කෙටි හා සරල මනෝ විද්‍යාත්මක ක්‍රමයන් ද පවතී.
විෂය කරුණු එකතු කිරීමේ දී වැදගත් විෂය කරුණු තෝරාගැනීම, ඒවා ගොනු කිරීම, යන පියවරයන් වඩා වැදගත් වේ. මතක තබා ගැනීම යන පියවරෙහි දී මතක තබා ගන්නා කෙටි ක්‍රම භාවිතා කිරීම, ඉක්මනින් මතක තබා ගැනීම, පහසුවෙන් ආවර්ජනය කළ හැකි සේ මතක තබා ගැනීම, හා කෙටි කාලීන මතකය හා දිගු කාලීන මතකය අතර දත්ත හුවමාරු කිරීම යන කරුණු වැදගත් වේ. ඉක්මනින් ආවර්ජනය කිරීම, නිවැරදිව ආවර්ජනය කිරීම හා අවශ්‍ය කරුණු සියල්ල ආවර්ජනය කිරීමේ හැකියාව ආවර්ජනය කිරීම යන පියවරෙහි දී ඔබ ලබා තිබිය යුතුය. එය මනා පුහුණුවකින් පසුව ඔබට හැකිවනු ඇත. පිලිතුරු ලිවීමේ දී ප්‍රශ්නය හොදින් අවබෝධ කොට ගැනීම, ප්‍රශ්නයේ සීමාවට අදාළ විය යුතු කරුණු තීරණය කිරීම, මතකයේ සිට එම කරුණු ආවර්ජනය කොට ගැනීම හා නියමික කාල සීමාව තුළ පිළිතුර ලිවීම අනිවාර්යයෙන් සිදුකළ යුතුය. ඉහත සියලු පියවරයන් මනස හා මොළය අතර බැඳුණු සංකීර්ණ ක්‍රියාවලියකි. මෙහි මුල් පියවර දෙක විභායට  (Exam) පෙර සපුරා තිබිය යුතුය. ආවර්ජනය කිරීම පාඩම් කරන කාලසීමාව තුළ වරින්වර මෙන්ම විභාගය ආසන්නයේ දී ද සිදුවිය යුතුය. අනවශ්‍ය පරිදි විෂය කරුණු එකතු කිරීම නිසා අත්‍යවශ්‍ය විෂය කරුණු මඟහැරී යනු ඇත. එබැවින් ඔබ ඉගෙන ගන්නා සහ පරිශිලනය කරන බොහෝ කරුණු අතුරින් අත්‍යවශ්‍ය කරුණු පමණක් තෝරා බේරා ගතයුතුය. එසේ තෝරාගත් කරුණු නිවැරදි ලෙස නිවැරදි ස්ථාන වල තැන්පත් කර ගත යුතුය. නො එසේ නම් ආවර්ජනය පියවර මෙන්ම පිලිතුරු ලිවීමේ පියවර ද අසාර්ථක වනු ඇත. ආවර්ජනය පුහුණූවීම මගින් විභාගයේ දී කරුණු එළියට ඇද ගැනීම පහසු හා ඉක්මන් වෙයි. දරුවකු විභාගය  (Exam) අසමත් වන්නේ හෝ අවශ්‍ය ප්‍රතිඵල නොලබන්නේ ඉහත කුමන හෝ පියවරක පවතින අඩුපාඩුවක් හේතුවෙනි.
විභාගයකින් පසුව දරුවන් නඟන පොදු චෝදනා කීපයකි.
“මම හොදටම දන්න දේවල් ඒ වෙලාවෙ මතක් කළා මතක් කළා මතක් වුනේ නෑනේ”
“උත්තරේ දන්නවා ඒත් හරියටම මතක නෑ වගේ”
“වෙලාව මදි උනා”
“සමහර ප්‍රශ්න කරකවල අතඇරිය වගේ”
ඇතැම් විට ඔබටත් මෙවැනි අත්දැකීම් තිබෙන්නට පුළුවන. මෙම චෝදනාවන්ට හේතු වන්නේ ඉහත පියවර හතරින් එකක් හෝ නිවැරදිව ක්‍රියාත්මක නොවීමයි. කෙසේ වුව ද විභාගයක් ආසන්නයේ දී අලුතෙන් කරුණු සෙවීම කිසිසේත් නොකළ යුත්තකි. ඔබ කළ යුත්තේ මතකයේ ඇති විෂය කරුණු පිළිවෙලකට ආවර්ජනය කිරීමත් අවශ්‍ය පරිදි කොළයක සටහන් කිරීමත් පමණි.
භාවිතා කරන ක්‍රමවේදයන් මෙන්ම දරුවන්ගේ මානසික තත්වය ද ඉහත ක්‍රියවලි කෙරෙහි සෘජුවම බලපානු ලබයි. නිවැරදිව සංජානනය කිරීම, නිවැරදිව අවබෝධ කර ගැනීම, තෝරා ගැනීම, තීරණ ගැනීම, නිර්මාණශීලිත්වය යන සාධක විභාගයකට  (Exam) පිළිතුරු සැපයීමේ දී අත්‍යවශ්‍ය සේ සැලකේ. මෙම සාධක නිසි පරිදි ක්‍රියාත්මකවීමට නම් දරුවා සමබර මානසිකත්වයකින් සිටිය යුතුය. බිය, කණස්සල්ල, පසුතැවීම කෝපය, කලකිරීම, අවිනිශ්චිතබව මානසික පීඩාකාරී හා තර්ජනාත්මක තත්වයන් සේ සැලකේ. මෙවන් තත්වයක දී මානසික ඒකා්‍රතාවය බිදී ගොස් සටන් කිරීමේ හෝ පළායාමේ අවස්ථාවකට කයත් මනසත් සූදානම් කරයි. දිගින් දිගටම මෙම තත්වය පැවතීම හානිදායක වන අතර ඉන් දරුවා නොසන්සුන්තාවයට පත්වේ. නොසන්සුන් මනසකින් කිසිසේත්ම විභාග ජයක් අපේක්ෂා කළ නොහැකිය. මෙම තර්ජනාත්මක අවස්ථාවේ දී ස්වයං ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් හිසරදය, අතපය හිරිවැටීම, අතපය කොරවීම, බඩේ අමාරු, සිහි මුර්ඡාවීම, මතකය අහිමිවීම, ගොළුවීම, ආදී තත්වයන් ඇතිවිය හැකිය. විභාගය  (Exam) අවසන්වීමත් සමඟ ක්‍රමයෙන් මෙම තත්වයන් පහව යයි. විභාගයක්  (Exam) ආසන්නයේදී මෙවන් තත්වයක් ඇතිවන්නේ ඇයි? විභාගයක් යනු ඕනැම පුද්ගලයෙකුට ආතතියක් ඇති කරවන සිද්ධියකි. එය විභාගයට සූදානම්වීම සඳහා වන අභිප්‍රේරණයකි. ඔබ තුළ ඇති වූ මෙම අභිප්‍රේරණය ඔබ ක්‍රියාවට නොනැගුවහොත් ඉතිරිවන්නේ ආතතිය පමණකි. මෙම තත්වය දිගින් දිගටම පැවතීම හේතුවෙන් ඉහත සඳහන් කළ ආකාරයේ කායික හා මානසික රෝගී තත්වයන් ඇතිවිය හැකිය. කෙසේ වුව ද විභාගය  (Exam) යනු ජීවිතයේ ඔබගේ දක්ෂතා පෙන්වීමට ලද අවස්ථාවකි. ඉන් උපරිම ප්‍රථිපල ලබා ගැනීමට ඔබට ශක්තියක් ඇත. මේ ඔබේ අවස්ථාවයි. සාර්ථකව එයට මුහුණ දෙන්න


*

Post a Comment (0)
Previous Post Next Post